සංවාදය
පවිත්‍රා බෝපැත්ත
ඔබට මේවගෙ නිර්මාණය ක් කරන්න හිතුනෙ ඇයි ?
මේ කතාව අවුරුදු 30 ක් විතර ඔළුවෙ තිබුන, මමත් යම් හෝ දුරකට මේ දේවල් වලට සම්බන්ධ වුන කෙනෙක් විදියට, අත්අඩංගුවට පත් උන කෙනෙක් විදියට, මේ ගැන ලොකු කම්පනයක් ඇති වුණා. 1988/89 කාලයේ මට අවුරුදු 16/18 වගේ ඇති. ඉතින් අපිත්  ශිෂ්‍යයෝ විදියට අරගල වලට උද්ඝෝෂණ වලට සහභාගි වුණා මට මතකයි .1987 සාම ගිවිසුම, මේකට රට පුරා උද්ඝෝෂණ ගියා. ඒකට ශිෂ්‍යයොත් සම්බන්ධ වුණා. ඉස්කෝල වලින් එළියට අවා, පාරට බැස්සා. රජයට විරුද්ධ ව සටන් පාඨ කිව්වා. මමත් ශිෂ්‍ය දේශපාලනය ට සම්බන්ධ වුණා. පන්ති වලට සහභාගි වුණා. මෙහි ප්‍රතිඵලයක් විදියට පෝස්ටර් වගයක් අලවන්න ගිය වෙලාවක මාව අත්අඩංගුවට ගන්නවා. “ජනාධිපති මරමු ,හොර ගිවිසුම අකුලා ගනිව්” වගේ ඒවා තමා තිබුනේ .ඉතින් මාස දෙකක් තුනක් මම අත්අඩංගුවේ ඉන්නවා. මෙහෙම ඉන්නකොට තමයි මට පේන්න පටන් ගන්තේ මෙ තරුණයන් ගේ නැගී සිටීම තරුණයන් ගේ දේශපාලන මැදිහත් වීම රජය දකින්නෙ වැරදි විදියට කියලා . ඉතින් එහෙම හිතලා ඔවුන් ට ගහනවා වද දෙනවා .වැරදි ප්‍රකාශ ගන්නවා . ඔවුන් ට නඩු දානවා, උසාවි දානවා, ඒවගේම කිසිම දේශපාලන යථාර්ථයක් නොදන්නා කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති ශිෂ්‍යයො ගොඩක් අසරණ වෙනවා.
අපි දැක්කා පාරවල්වල ලොකුවට ඉදිමිලා තිබුන, මිනී. කාන්තා වන්ගේ, හාමුදුරුවන් ගේ ,තරුණයන් ගේ මේක හරියට විශාලා මහ නුවර තුන් බිය වගේ . ඇත්තටම මේක මට කම්පනයක්. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි යම් යම් පර්යේෂණ කරලා, මේ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටිය මම නිර්මාණය කරේ.
ඔබ රෝහණ විජේවීර දකින්නේ සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී හිටපු නායකයෙක් විදියට වුණත්, සමාජයේ බොහෝ පාර්ශව දකින්නේ ත්‍රස්තවාදී නායකයෙක් විදියට ?

දේශපාලන කරන ඕනෑම කෙනෙකුට මිතුරන් සහ හතුරන් කියලා කොටස් දෙකක් ඉන්නවා. මිතුරන්ගෙ පැත්තෙන් ඔහු වීරයෙක්, ජාතික නායකයෙක්.  ඒ වගේම විරුද්ධ කොටසට ඔහුව පෙනුනේ දේශ ද්‍රොහියෙක් ලෙසට. නමුත් මම රෝහණ විජේවීර ව දකින්නෙ සමාජ අසාධාරණය ට එරෙහිව නැගී හිටපු නායකයෙක් විදියට. ඒදවස් වල මිනිසුන් ට යම් ආකාරයේ සමාජ අසාධාරණයන් තිබුනා. තරුණයන් ට අයිතියක් තියනවා මේ රටේ ප්‍රශ්ණ වලට මූණ දෙන්න. රටේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්ණ වලදී දේශපාලන ප්‍රශ්ණ වලදී, රට අනතුරකට පත්වුණ  අවස්තාවේ දී තරුණයන් විදියට අපි යම් ආකාරයේ මැදිහත් වීමක් සිද්ධ කරන්න ඕන කියන බව බුද්ධිමත්ව ඔහු පෙන්වා දුන්නා. ඔහුට අනෙක් දේශපාලකයන් ට වඩා රටේ අනාගතය ගැන දේශපාලන ය සහ සමාජ දේහය ගැන ලොකු දැක්මක් තිබුන නායකයෙක්. ඔහුට නායකයෙක් විදියට විශාල දැනුම් සම්භාරයක් තිබුනා. මන් හිතන්නෙ ඔහු මිය ගියාට ඔහුගේ හඩ මිය ගිහින් නෑ කියලා.

සමාජ ජාලා වෙබ් අඩවි වල යනවා මේක ජනතා විමුක්ති පෙරමුණේ නිෂ්පාදනයක්කියලා. මේ ගැන ඔබ මොකද කියන්නෙ ?

මෙහෙමයි කටකතා සාමාන්‍ය දේවල් ජ.වි.පෙ ට ලක්ෂ හය හත්සීයක් වියදම් කරලා චිත්‍රපටි කරනවට වඩා ඔවුන් කරන්නේ පක්ෂ ප්‍රවර්ධන කටයුතුනේ. ශ්‍රීලංකා එකත් එහෙමයි. u.n.p එකත් එහෙමයි. චිත්‍රපටි කිරීම ඔවුන් ගේ කාර්ය භාරය නෙවෙයි. මම මේ “සිනේ ප්‍රෝ ” ආයතනයේ අධ්‍යක්ෂවරයාටත් අධ්‍යක්ෂ මණ්ඩලයටත් මේ අදහස කිව්වා ම හොද අදහසක් හොද ආන්දෝලාත්මක චිත්‍රපටික් අපි බජට් එකක් හදලා  කියලා මේ                                   ” සිනේ ප්‍රෝ” ආයතනය තමයි මේක නිෂ්පාදනය කරේ. එහි නිෂ්පාදිකා ව තමයි චමත්කා පීරිස් ඒ වගේම මේකට තව ගොඩක් අය නිෂ්පාදනය ට දායක වුණා. පක්ෂයකට කවදාකවත් හිතන්නවත් බෑ මේවගේ නිර්මාණය ක් කරන්න. එතරම් ලොකු වියදමක් දරලා කරපු චිත්‍රපටයක්. ව්‍යාපාරිකයෙකුට ව්‍යාපාරික ආයතනයකට ඇරුන කොට පක්ෂයකට කවදාකවත් හිතන්න බෑ මේ වගේ නිර්මාණයක් කරන්න.

ඔබ  විජේවීර චරිතයට කමල් අද්දරආරච්චිව තෝරගන්නෙ ඇයි? ඔහුගේ දැකපු විශේෂත්වය මොකක් ද?

පහුගිය කාලේ ලංකාවේ ඉතිහාසයේ රජවරු බිසෝවරු ගැන චිත්‍රපටි ගොඩක් සිද්ධ වුණා. නමුත් මේ රජවරු බිසෝවරු අපි දැකලා නැති නිසා අපිට පුලුවන් මෙහෙම වෙන්න ඇති කියලා මවන්න. නමුත් මෑත ඉතිහාසයේ එක්දාස් නමසිය අසූ ගනන් වලදී මේ රෝහණ විජේවීර අපි දැකලා තියනවා. 1982දී ඔහු ජනාධිපතිවරණය ට ඉල්ලද්දි ඔහුගේ කතා බහ ඔක්කොම පටිගත කරලා රූපගත කරලා තියනවා. ඒ වගේම ඔහු සම්බන්ධව තියන වාර්තා චිත්‍රපටි අපි දැකලා තියනවා. නොදැකපු කෙනෙක් වගේ නෙවෙයි දැකපු නායකයෙක් සම්බන්ධව නිර්මාණයක් කරන එක. අපිට ලොකු අභියෝගක් ඒ අභියෝගය තමයි බැරිවෙලා හරි මේ චරිත කරන්න ගිහින් චරිතය කරන නලුවට මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න බැරි වුණොත්  විජේවීර චරිතයට කරන ලොකු අසාධාරණක් වෙනවා. එවගේම නිර්මාණය ට ලොකු හානියක් වෙනවා. සමාජයෙන් ලොකු විවේචනයක් එනවා. ඒක නිසා මෙහිදී තෝර ගන්න චරිත ඉතා වැදගත් උනා. ඉතින් මම කල්පනා කරා, රටේ ආදරය දිනාගන්න පුලුවන් ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙක් තෝර ගන්න ඕනා කියලා. මුල් පෙළේ නළු නිළියන් ටික ඔළුවෙන් හදාගෙන යනකොට තමා අපේ නිෂ්පාදක තුමා සහ තුමිය සමග කතා කරනකොට ඒඅයගෙත් යම් අදහසක් තිබුනා කමල් අද්දරආරච්චි ගැන.  මේක මගේ පුද්ගලික අදහසක් නෙමෙයි අනිත් එක තමයි ඔහු තුල තිබුන ප්‍රතිභා පූර්ණ රංඟනය. ඒ වගේම ඔහු ගොඩක් තෝරා බේරා ගෙන චරිත කිරීම, ඒවගේම රෝහණ විජේවීර කියන්නෙ සිංහල වගේම චතුර ලෙස ඉoග්‍රීසි කතා කරන්න පුළුවන් නායකයෙක්. කමල් අද්දරආරච්චි ටත් ඒ හැකියාව තියන නිසා ඒ සියලු කාරණා හිතලා බලලා තමයි ඔහුව මේ චරිතයට තෝර ගත්තේ.
එතකොට ඔබට මේ නිර්මාණය කරගෙන යනකොට දේශපාලන වශයෙන් බලපෑම් ආවේ නැද්ද?

ගොඩක් දෙකක් අහන ප්‍රශ්ණයක් තමා ඕක. ඇත්තටම මේ වගේ චරිතයක් සම්බන්ධව චිත්‍රපටියක් කරනකොට ඒකට අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. එකක් ඔහුගේ පවුලේ කට්ටිය. දුවා දරුවන් ඔවුන් තාම ජීවත් වෙනවා. ලොකු නායකත්වක් දුන්න පක්ෂ සාමාජිකයො ඉන්නවා, පක්ෂ නායකයයෝ ඉන්නවා, ඉතින් මේ වැඩේ කරගෙන යනකොට යම් යම් ප්‍රශ්න ආවා. ප්‍රශ්න කිව්වේ මේ වැඩේ කරන්නේ කොහොමද? මේ චරිතයට අවැඩක් වෙයිද? යන කරනා. නමුත් ඒ සෑම අවස්ථාවකදීම මගේ උතුම් අරමුණක් තිබුනා, මේ චරිතයට අවැඩක් කරන්නේ නැතිව නිර්මාණය කරන්න. ඔහු යම් ආකාරයේ දේශපාලන හැකියාවක් තිබුන, රට ගැන ආදරෙන් කතා කරපු නායකයෙක්. ඔහු කරපු කැරැල්ල දෙක තුන තුළ යම්‍ යම් ආකාරයේ වැරදි ක්‍රියාමාර්ග තියෙන්න ඇති. නමුත් සාපේක්ෂව අනෙක් දේශපාලකයන් එක්ක බලනකොට ඔහු උදාර නායකයෙක්. ඒනිසා ඔහුගේ අයිතිකාරයෝ වගේ ඉන්න අයව මම ගිහින් මුනගැහිලා කාතා කාරාම, මම මෙහෙම වැඩක් කරනවා මට උදවු කරන්න කියලා .එතෙන්දිත් ඔවුන් කිව්වේ ප්‍රශ්නයක් නෑ. ඔයා වැඩේ හොදට කරන්න. අපි උදවු කරන්නම් කියලා.  මේ සම්බන්ධව විජේවීරගේ සමකාලීනයෝ අපිට හොයලා දුන්නා. අපි ඔවුන් එක්ක කතා කරා.  අනිත් පැත්තෙන් ඔහුගේ පවුලේ සම්බන්ධ කරගන්න ගොඩක් උත්සහා කරා. නමුත් චිත්‍රපටිය කරගෙන යනකොට තමයි ඔහුගේ පුතාව හම්බ වෙන්නෙ. අපි චිත්‍රපටිය සංස්කරණය කරගෙන යනකොට ඔහුට අපි පෙන්නුවා. ඔහුත් කිව්වෙ ඉතාමත් හොදින් ගවේශණය කරලා චිත්‍රපටිය කරලා තියනවා කියලා. ඒ වගේම රජය පැත්තෙන් ගත්තත් මේක සෙන්සර් බෝඩ් එකට දාලා සහතිකේ ගන්න ඕනේ. එහිදී කිසිම ආකාරයේ තහනමකට ලක් නොවී අසීමිත මහජන ප්‍රදර්ශනය ට හිමි සහතිකය හම්බ වුණා. කිසිම ආකාරයේ වාරනයකට ලක් වුනේ නෑ. පහුගිය කාලේ වුණ  කතන්දරත් එක්ක වාරනයකට ලක් වෙයිදෝ කියලා සැකයකුත් තිබුනා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ මාධ්‍ය නිදහස තියනවා. කිසිම ආකාරයේ අත පෙවීමක් සිදූවුනේ නැ. මොකද ඒකට එක හේතුවක් තිබුනා. මේ නිර්මාණයට සම්බන්ධ වුණ පිරිස රටේ ආදරය දිනාගත් පිරිසක්. ඒ නිසා අපිට මෙ අභියෝගය ජය ගන්න පුළුවන් වුණා. ගොඩක් සතුටින් ඒ ගැන කියන්න පුලුවන්.
මහජන ප්‍රදර්ශනයට කලින් ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයන්ට පෙන්නලා, අවසරය හා අනුමැතිය ගන්න සිද්ධවුණා කියලා ආරංචියි?

ඔවුන්ගේන් අවසර ගන්න ඔවුන් නිෂ්පාදකවරු නෙමෙයි නෙ.  චිත්‍රපටයක් කරලා චිත්‍රපටිය පෙන්නන්න ඕන එහි නිෂ්පාදකවරයට. මොකක්ද මේ කරලා තියන්නේ ඔවුන්ට බලන්න අයිතියක් තියනවා. මොකද ඔවුන්සල්ලි වියදම් කරලා තියන නිසා. පක්ෂයකට පෙන්නන්න තියන උවමනාව මොකක්ද ? මගේ හිතවත්ම අයට මේක පෙන්නුවා. දායාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ගයන්ත කරුණාතිලක, චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග, පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, මේ ගොල්ලෝ ඔක්කොම මේක බැලුවා.  ඒ අතරේ ලාල් කාන්ත සහෝදරයා, සුනිල් හදුන්නෙත්ති, අනුර කුමාර දිසානායක මේ අයත් මේක බැලුවා. ඒ අපේ තියන හිතවත් කමට. යාළු මිත්‍ර කමට. අනික පක්ෂයක් අනුමත කරන්න, ඒක සෙන්සර් බොඩ් එක නෙවෙයිනේ. සෙන්සර් බොඩ් එක අනුමත කරාට පස්සේ තව අය අනුමත කරන්න අවශ්‍ය නෑ.  දේශපාලනය කරනකොට ඔක්කොම අපේ හිතවත් අය. හිතවතුන් විදියට අපි ඔක්කොටම මේ චිත්‍රපටිය පෙන්නුවා. දේශපාලනය වෙනුවෙන්  කැප කිරීමක් කරපු නායකයෙක් වෙනුවෙන් කරපු චිත්‍රපටයක්. මේක ඔවුන් ට පෙන්නලා ඔවුන් ගේ අදහසක් ගත්තා මිසක් අනුමැතියක් අවසරයක් ගන්න ඔනා උනේ නෑ.  එච්චර කොන්ද පන නැති තැනකට වැටෙනවා නම්, මේ කරපු නිර්මාණයෙන් වැඩක් නෑ. මට කොන්දක් පණ තියන මිහිහෙක්. ඒකයි මම මේ නිර්මාණය කලේ. ඒනිසා තැන තැන ඇතිවෙන කටකතා,  මඩ මට ගනන්ගන්න අවශ්‍ය නෑ.
ඔබේ මේ  නිර්මාණය ඔස්කා සම්මානයට නිර්දේශ වෙනවා. ඒ ගැන මතක් ඒ ගැන කතා කරමු.?

ඒක ටිකක් ලොකුකතාවක්. ඇත්තටම මේ ලංකාව කියන කොදෙව්ව ඇතුලේ සීමිත ජන කොටසක් ඉන්නේ. ඉතින් දැවැන්ත නිර්මාණයක් කරලා ලැබෙන ආදායම ඇත්තටම මදි .  ඉතින් අපි නිතරම කල්පනා කරන්න ඕන ආසියාතික මට්ට්ටමේ ලෝක මට්ටමේන් චිත්‍රපටික් බෙදාහරින්න පුළුවන් ද කියලා.  අති විශාල සිනමා උලෙළවල් වලට මෙවනි චිත්‍රපටි නියෝජනය කරන්න පුළුවන්නම්, ලෝකයේ අනික් සිනමා අධ්‍යක්ෂවරුන්ගේ නිෂ්පාදක වරුන්ගේ ව්‍යාපාරිකයන්ගේ සිනමා බෙදාහරින්නන් ගේ චිත්‍රපටි නිර්මාණ වලට සම්බන්ධ විවිඩ ආයතන වල ඇස් ඇර ගන්න එක. අපි මේව හොයාගන යන්න ඕන. එහි අරමුණක් විදියට අපේ කැමරා ශිල්පී මහතා ස්විට්සර්ලන්තයේ ලොකානෝ චිත්‍රපටි උලෙළට ගිය අවස්ථාවේ ඔහුට මුනගැහෙනවා ඔස්කා සම්මාන උලෙළට සම්බන්ධ සංවිධායකවරියක් ඇයත් එක්ක කතා කරනකොට ඇය කියලා තිබුනේ, ඇයි ලංකාවේ සිනමා නිර්මාණයක් ප්‍රධාන ධාරාව යටතේ එවන්නෙ නැත්තෙ කියලා. නමුත් හොදම චිත්‍රපටි අoශය යටතේ තරග කරන්න සිoහල දේශීය චිත්‍රපටයක් ගියේ නැති නිසා අපි තීරණය කලා ඒ සදහා යොමු වෙන්න. මේ සදහා යොමු කරන චිත්‍රපටි ආයතනය තියනවා ආසියානු මට්ටමේ ආයතනයක් වන oll life india ආයතනයේ නියෝජිතවරුන් කීපදෙනෙක් සමග අපි ඊ මෙල් ගනු දෙනු කරා. පස්සෙ ඔවුන් කිව්වා අපි බලලා තීරණය කරන්නම් මේක ඔස්කා සම්මාන උලෙළේ ප්‍රධාන ධාරාව යටතේ ඉදිරිපත් කරන්න සුදුසුද කියලා. පස්සේ ඔවුන් ආවා ඇවිත් බලලා ඔවුන් කිව්වා මේක ඉතාම හොද චිත්‍රපටයක් මේක ඔස්කා උලෙළේ හොදම චිත්‍රපටි අoශය යටතේ පෙන්නමු කියලා. එහිදී අපිට ආපු අභියෝගක් තමයි චිත්‍රපටිය ලොසැන්ජලිස් නුවර දින7ක් දවසට දර්ශන 3 බැගින් දර්ශන 21ක් පෙන්නන්න ඕනා. ඒ සදහා යම් වියදමක් දරන්න ඕන. අපි ඒ කටයුත්තත් කරා. අපේ නිෂ්පාදකතුමිය චමත්කා පිරිස් මහත්මිය අපිට ගොඩාක් උදව් කරා. පස්සෙ ඔවුන් තීරණය කරනවා පෙන්නපු චිත්‍රපටි අතරින් ඔස්කා උලෙළේ ප්‍රධාන ධාරාව නියෝජනය කරන්න සුදුසු චිත්‍රපටි මොනාද කියලා. එ සුදුසු කාණ්ඩයට ඇතුළත් වීමක් තමා සිදූඋනේ. මේක ඇත්තටම ලොකු ජයග්‍රහණයක්.
සිනමා කෘතියෙන් බැහැරව ඔබ ගැන යමක් කතා කරනවා නම්  මම දකින විදියට ඔබ තුමාගේ කලා ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය තමයි සදලoකාව එතනින් ලැබුන පන්නරය මොන වගේද ?

මම ඉපදුනේ කොළඹ කඩුවෙල ප්‍රදේශයේ .  අවුරුදු 12 ක් කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විදුහලේ අධ්‍යාපනය ලැබුවා මම. ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ ආනන්ද විදුහලට යන්න සැලසුම් කරනකොට තාත්තගෙ රැකියාවේ යම් ආකාරයේ ප්‍රශ්ණයක් ඇවිත් අපිට ගමට යන්න සිද්ධ වෙනවා. අම්මාගේ ගම තමා සඳලංකාව. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ආශිතව තියන හරි ලස්සන ග්‍රාමයක්. මං හිතන්නෙ මගේ ජීවිතේ තරුණ කාලේ භද්‍ර යෞවනය ඉතාම සුන්දරව ගත කරානම්, ඒතමා සඳලංකාව. මාව කුල්මත් කරපු, මාව උද්දීපනය කරපු මගේ කලාව, මගේ බුද්ධිය මගේ සාහිත්‍ය දැනුම උද්දීපනය කරපු තෝතැන්න තමයිසඳලංකාව. පරිසරය, මිනිසුන් කොයි තරම් දුරට වෙනස් කරනවද කියලා මට හිතෙනවා. අපි කොළඹ නගරයේ හැදුනේ වැඩුනේ පාසැල් ඔක්කොම ගොඩනැගිලි විතරයි. ඉතින් මේ ගමේ සංස්කෘතියට ඇතුළු වෙන්න මට පොඩි කාලයක් යනවා. ගමේ ඉන්න අනෙක් සමකාලීනයන් සමග එකට කටයුතු කරන්න ගියාම,  අපේ කතා විලාසය හැසිරෙන විදිහ සංස්කෘතියෙ වෙනස් කම් තිබුනා. මට ඕන උනේ මේ ළමයින් එක්ක කිට්ටුවෙන් යන්න. එතෙන්දි තමයි මට හිතෙන්නේ මේ ළමයින් එක්ක කිට්ටුවෙන් යන්න නම් සාමූහික ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕන කියලා. මමසඳලංකාව මධ්‍ය මහා විදුහලෙ 6 පoතියට තමයි ඇතුළත් වෙන්නේ. එතකොට මම දැක්කා අනෙක් ළමයි එකතු වෙලා නට්‍යයක් කරනවා. සිකුරාදා සාහිත්‍ය සoගමේ රැස්වීමට මට චරිත වලට සම්බන්ධ වෙන්න විදියක් නෑ . මොකද මම ආධුනිකයෙක්  නිසා. නමුත් දෛවය කියන්නෙ 7 පoතියට ගියාට පස්සේ ළමයි එකතු වෙලා නාට්‍යක් කරනවා. එතකොට ඒකේ ගෑණූ ළමයෙක් ගෙ චරිතයකට කෙනෙක් නෑ. ඩල්සි කියලා කොළඹ පන්නයේ හැදුන නාගරික චරිතයක්. මම සුදුයි ඒ පෙනුම තිබුන නිසා, මට ඒ චරිතෙ හම්බ වෙනවා. එතන තමයි ඉස්කෝලේ කලා ජිවිතයට ඇතුළු වෙන්නේ. ඉතින් මම අක්කාගේ ගවුමක් ඇදගෙන හොදට කොන්ඩෙ පීරලා ලිප්ස්ටික් ගාලා. හයි හීල්ස් දාලා වේදිකාවට එනකොට ඒ ඉන්නේ කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියන්න බැරි තරමට ඒ චරිතය මට ජනප්‍රිය කරන්න පුළුවන්වුණා. ඒ වගේම අර මිතුරන් සමූහය තුළ මම ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. ඊට පස්සේ සිකුරාදා මං නාට්‍ය වලට හිටියා. විවාද කන්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් බවට පත් වෙනවා.ඉස්කෝල මට්ටමේ ගිය හැම තරගයකදී ම හොදම කථිකයා  බවට පත් වෙලා සම්මාන අරගෙන තියනවා. 
ලංකාවේ සිනමාව කියන්නෙ දිනෙන් දිනම අවිනිශ්චිත භාවයට පත්වෙන කර්මාන්තයක්. තරුණ සිනමා කරුවෙක් විදියට අනාගත සිනමාව ගැන  මොකද හිතන්නේ?
මේක අභාග්‍ය සම්පන්න දෙයක්. කොළඹ සහ ප්‍රධාන නගර වල සිනමා ශාලා ඉතා දියුණු මට්ටමක තිබුනත් ඈත ග්‍රාමීය පලාත් වල තියෙන සිනමා ශාලා ඉතා බාල මට්ටමක තියෙන්නෙ. ඒව හරියට ආත බූත බංගලා වගේ.  සිනමා තිරය ගත්තහම ඒක කැඩිලා කැඩිලා කහපාට වෙලා. පුටු ගත්තහම ඒ වයේ මකුනෝ ඉන්නව. මේ රටෙ සිනමාව ගොඩ ගන්නනම් මුලින්ම කරන්න ඕන මේ චිත්‍රපටි ශාලා මිනිස්සුන්ට ඉන්න පුලුවන් විදියට නවීකරනය කරන එක. චිත්‍රපටිය කියන්නෙ හරිම චිත්තාකර්ෂණීය දෙයක්. ඒ වගේ තැන් වල මීයෝ දුවනව නම් වවුල්ලෝ ඉන්නව නම් මිනිසුන් යන්නේ නෑ. ඒ වගේම තරුණ තරුණියෝ කැමති ,ඉතාම හොද සිනමා ශාලාවල් වල සිනමාව රස විදින්න. මේ සිනමාව රස විදින්නත් පහසුකම් තිබිය යුතුයි. මේ සිනමා කර්මාන්තය කඩා වැටිලා තියන්නේ මේ පහසුකම් නවීකරණය කරන්න ක්‍රමයක් නැති නිසා. රජය හෝ බෙදා හරින සමාගම් සෑම සිනමා ශාලාවක්ම නවීකරණය කර යුතුයි. මේකේ තියන ලොකුම ප්‍රශ්නේ තමයි සිනමාව 35mm තියන ටෙලිවිෂන් එක ආවට පස්සෙ 2k කියන තාක්ෂණය ආවා. මේ 2k කියන තාක්ෂණය වියදම් අධික නිසා ලoකාවේ තියන ලොකුම සිනමා ශාලා වල තමයි 2k තාක්ෂණය තියන්නේ. අනෙක් සිනමා ශාලා වලට E සිනමව ආවා.E සිනමාව කියන්නෙ ඉතා බාල වර්ගයේ උපක්‍රමයක්. ඒ බාල උපක්‍රමය නිසා ලොකු තාක්ෂණික වෙහෙසක් මුදලක් යොදලා කරන චිත්‍රපටියේ ප්‍රක්ෂේපන ඉතාම පල්ලෙහා මට්ටමේ තියන්නේ. E සිනමාව සම්බන්ධයෙන් කරන ව්‍යාපාරිකයිනගෙන් මම ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා මේක දියුණු කරන්න කියලා.
අවසාන වශයෙන් මේ සමාජයට ඔබ තුමට දෙන්න තියන පනිවිඩේ කුමක්ද ?

රටක් විදියට අපි ඉන්නේ ඉතාමත් පරාජිත තැනක. කොදෙව්වක ජීවත් වීම තුළ අපි දකින්නේ නෑ ලෝකේ දියුණුව. අපි දියුණුව කියලා හිතෙන්නේ මීට අවුරුදු 60 කට කලින් ලබපු දියුණුව. මේ ලෝකයේ සිදුවන සෑම වෙනස්වීමක්ම සෑම තාක්ෂණික දියුණුවක්ම විද්‍යාත්මක දියුණුවත් එක්ක එකට සබැඳීයාවක් එක් කර ගත්තොත් ඒවා දිහා පරීක්ෂණාත්මකව බලලා ඒවා ඇතුලේ ජීවත් වෙන මිනිසුන් බවට පත් වෙන්න ඕනා. ඒ වගේම තරුණ නායකත්වයට මුල් තැන දෙන්න ඕනා ඒවගේම ගහට කොලට පරිසරයට රටට ආදරය කර පිරිසක් විනය ගරුක පිරිසක් වෙන්න ඕන.